ශිරාන් බාසික් දින 90ක්  රඳවා ප්‍රශ්න කිරීමට පියවර

ශිරාන් බාසික් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට පියවර

ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් මගින් රතු වරෙන්තු නිකුත් කර තිබූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් ශිරාන් බාසික් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය සැපයූ ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් පස්දෙනා අතරින් අයෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් පසුගිය 14 වැනිදා රාත්‍රියේ ඩුබායි සිට මෙරටට රැගෙන එනු ලැබුවා.

වසර ගණනාවක් ඩුබායිහි ධනවතෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවූ බවට චෝදනා එල්ල වී ඇති 48 හැවිරිදි ශිරාන් බාසික් පසුගිය මැයි 26 වැනිදා ඩුබායි ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් ඔහු ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් මෙරටට රැගෙනවිත් ඇති අතර, ඔහු රැගෙන ඒමේ අවස්ථාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අවට දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබුණා.

මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ශිරාන් බාසික් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සෙසු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම හා බෙදාහැරීම, නීති විරෝධී වත්කම් ඉපැයීම, ගිනිඅවි සහ බරපතළ හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වී තිබෙනවා.

දෙහිවල, මාවනැල්ල, කොළඹ සහ කොළඹ දකුණ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයන් ක්‍රියාත්මක කළ බවටද ඔහුට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

වෙලේ සුදා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රබලතම ජාවාරම්කරුවෙකු ලෙස ශිරාන් බාසික් හඳුන්වාදී තිබෙනවා.

ඔහු 2011 වසරේදී කිරුළපන ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම නඩුව වසර ගණනාවක් කොළඹ මහාධිකරණයේ විභාග වී තිබුණා.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් ඉදිරිපත් කළ සාක්ෂිවල පැවති බරපතළ පරස්පරතා හේතුවෙන් 2024 මාර්තු මාසයේදී එම නඩුවෙන් ඔහුව නිදහස් කිරීමට අධිකරණය තීන්දු කර තිබුණා.

අනතුරුව ඔහු සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ විමර්ශන දැඩි වෙද්දී, 2018 වසරේදී නීති විරෝධී ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පලාගොස් ඇති බව සඳහන්.

එමෙන්ම, අතීතයේ සිටම ඉරානය ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාල සමග සම්බන්ධතා පවත්වාගෙන යමින් මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වීමේ කටයුතුවල නිරත වූ බවටද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මේ වනවිට ඔහුගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරමින්, මෙරට ක්‍රියාත්මක වූ බව කියන මත්ද්‍රව්‍ය ජාලය සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණ කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )