
මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් හෙට (18) සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.
හෙටින් ආරම්භ වන කුඹල් පෙරහැර ලබන 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, 23 වැනිදා සිට 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි.
ඒ අනුව, පෙරහැර පැවැත්වෙන කාලසීමාව පුරා විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
මාර්ග බාධක යෙදවීම, ආරක්ෂක රාජකාරි, රථවාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මාර්ගෝපදේශ ලබාදීම සහ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීම මෙම වැඩපිළිවෙළට ඇතුළත්.
පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ හදිසි අවශ්‍යතා සඳහා 081 22 33 333 යන හදිසි දුරකථන අංකයද ස්ථාපිත කර තිබෙනවා.
මීට අමතරව, 071 859 1045 යන දුරකථන අංකය ඔස්සේ මූලස්ථාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා සම්බන්ධ කරගත හැකි බවද පොලීසිය සඳහන් කළා.
මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6,200ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 564ක් යෙදවීමට නියමිතයි.
මීට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200ක් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 29 දෙනෙකුද ආරක්ෂක රාජකාරි සඳහා යොදා ගැනීමට නියමිත බව පොලීසිය පවසනවා.
පොලිස් නිල සුනඛ අංශයේ සහායද ආරක්ෂක කටයුතු සඳහා ලබා ගැනීමට නියමිතයි.
මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන ස්ථාන 14ක් ආවරණය වන පරිදි මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කිරීමටද පියවර ගෙන තිබෙනවා.
පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ වාහන ගාල් කිරීම සඳහා රථවාහන ගාල් 13ක් සූදානම් කර තිබෙනවා.
ඉන් රථ ගාල් 6ක් සැහැල්ලු වාහන සඳහාත්, රථ ගාල් 7ක් බර වාහන සඳහාත් වෙන් කිරීමට නියමිතයි.
පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය මගහැර ගමන් කිරීම සඳහා විකල්ප මාර්ගද හඳුන්වා දී ඇති බැවින්, එම මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
