
ගංජා ජාවාරම්කරුවෙකුගෙන් ලක්ෂ 5ක අල්ලස් ගත් බව කියන පොලිස් නිලධාරීන් 4ක් අත්අඩංගුවට
තණමල්විල, නිකවැව, දෙමෝදර වැව ආශ්‍රිත ගංජා හේනක් වටලා එහි සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම සඳහා රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු බව සඳහන්.
තණමල්විල, නිකවැව, දෙමෝදර වැව ආශ්‍රිතව ගංජා හේනක් පවත්වාගෙන යන බවට තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත පසුගිය 11 වැනිදා පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශය වටලා තිබෙනවා.
එහිදී ගංජා හේනක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අවට සිදුකළ වැඩිදුර සෝදිසි කිරීමේදී එම සැකකරුට අයත් තවත් ගංජා හේන් තුනක්ද සොයාගෙන තිබෙනවා.
එමෙන්ම තවත් ගංජා හේනක් කපා ගිනි තබා විනාශ කර තිබූ බවටද පොලීසියට අනාවරණ වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හයදෙනෙකු පසුගිය 10 වැනිදා එම ප්‍රදේශයට පැමිණ වැටලීමක් සිදුකළ බවයි.
එම වැටලීමෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටීම සඳහා තමන්ගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගත් බවද සැකකරු ප්‍රකාශ කර තිබෙනවා.
එම නිලධාරීන් ගංජා හේන් පහෙන් එක් හේනක් පමණක් ගිනි තබා විනාශ කර, ඉතිරි ගංජා ප්‍රමාණය රැගෙන ගිය බවටද සැකකරු ප්‍රකාශ කර ඇති බව සඳහන්.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතරතුර නිකවැව ප්‍රදේශයේ පදිංචි ‘කළු’ නමැති පුද්ගලයෙකුද ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හයදෙනෙකු පැමිණ ගංජා තොගයක් වියළන ලෙස තමන්ට දැනුම් දුන් බව පවසා ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත, අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් සිව්දෙනා තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
