
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව නොවැම්බර් 02 කැඳවීමට නියෝග
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විත්තිකාරියන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 02 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
2022 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය පැවැති අවස්ථාවේදී කොළඹ කුරුඳුවත්ත පොලිස් වසම තුළ මාර්ග අවහිර කරමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා.
නඩුව අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ විමර්ශන කටයුතු අවසන් කර, නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන නොවැම්බර් 02 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර, එදින වනවිට විමර්ශන සහ නීතිපති උපදෙස් සම්බන්ධයෙන් පවතින ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නියෝග කර තිබෙනවා.
