විසිදෙකේ කෙටුම්පතත් රැගෙන හර්ෂණ ඇමති අද පාර්ලිමේන්තුවට

විසිදෙකේ කෙටුම්පතත් රැගෙන හර්ෂණ ඇමති අද පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී අදාළ පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් සතියකට පසු එය පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි අතර, ඉන් අනතුරුව ඕනෑම අයෙකුට ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට සතියක කාලයක් හිමිවනවා.

එලෙස ඉදිරිපත් කෙරෙන පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය දින 3ත් 21ත් අතර කාලයකදී පාර්ලිමේන්තු කථානායකවරයා වෙත දැනුම්දීමට නියමිතයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත මගින් මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි.

මේ අතර, අදාළ පනත් කෙටුම්පත් දෙක පළමු වර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඊට විරෝධය පළ කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය තීරණය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවති විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පනත් කෙටුම්පත්වලට එරෙහිව පෙත්සම් ගොනු කිරීම මෙන්ම, එම පෙත්සම් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 13 දෙනෙකුගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස ඉල්ලීමක් කිරීමටද විපක්ෂය තුළ යෝජනා වී තිබෙනවා.

CATEGORIES
TAGS
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )