
හෙළයේ මහා කලා මංගල්‍යය මහනුවර ඇසළ පෙරහැරේ පළමු කුඹල් පෙරහැර අදයි
හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහැර මංගල්‍යයේ කටයුතු පසුගිය 13 වැනිදා ආරම්භ වූ අතර, එදින සිට ඊයේ දක්වා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පැවැත්වුණා.
අදින් ආරම්භ වන කුඹල් පෙරහැර දින පහක් අඛණ්ඩව වීථි සංචාරය කිරීමට නියමිත අතර, පස්වන කුඹල් පෙරහැර ලබන 22 වැනිදා පැවැත්වීමෙන් අනතුරුව රන්දෝලි පෙරහැර ආරම්භ වෙනවා.
ඒ අනුව ලබන 23 වැනිදා සිට 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත අතර, අවසන් රන්දෝලි මහ පෙරහැර 27 වැනිදා නිකිණි පුන් පොහෝ දින රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
අද පළමු කුඹල් පෙරහැර රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාළිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර යළි ශ්‍රී දළදා මාළිගාවට ගෙවැදීමට නියමිතව තිබෙනවා.
අවසන් රන්දෝලි පෙරහැරෙන් අනතුරුව 28 වැනිදා අලුයම් කාලයේදී ගැටඹේ දියකපනා තොටේදී දිය කැපීමේ මංගල්‍යය පැවැත්වීමට නියමිතයි. එදින දහවල් පෙරහැර වීථි සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළා.
මේ අතර පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 8,000කට ආසන්න පිරිසක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව පොලිස් නිලධාරීන් 6,200ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 564ක් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,200ක් ඇතුළු පිරිසක් ආරක්ෂක රාජකාරි සඳහා යොදවා තිබෙනවා.
පොලිස් නිල සුනඛ සහ අශ්වාරෝහක අංශවල සහාය ද ආරක්ෂක කටයුතු සඳහා ලබාගැනීමට නියමිතයි.
මේ අතර පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
රථවාහන ගාල් කිරීම සඳහා රථගාල් 13ක් ස්ථාපිත කර ඇති අතර, මහනුවර නගරයට ඇතුළුවන ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි මාර්ග බාධක 14ක් යොදා හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමටද සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව පෙරහැර නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන ජනතාව සහ රියදුරන් පොලීසිය හඳුන්වා දී ඇති රථවාහන සැලැස්මට අනුව කටයුතු කරන ලෙස පොලීසිය ඉල්ලා සිටිනවා.
