
‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා CCDයට
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන දිමුතු චතුරංග හෙවත් ‘සමිට්පුර චතූ’ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබෙනවා.
ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
‘මෝදර චතූ’ හෙවත් ‘සමිට්පුර චතූ’ නමැත්තාට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
මීට අමතරව අත්බෝම්බ සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා පවතින බව පොලීසිය සඳහන් කරනවා.
කොළඹ 15, මෝදර, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දිමුතු චතුරංග පෙරේරා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඕමානයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.
පොලීසිය සඳහන් කරන්නේ, ඔහු 2025 වසරේ මාර්තු 22 වැනිදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඕමානයට පලාගොස් ඇති බවයි.
ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබනවා
