
වාහන 07 ක් කුඩු කර ජීවිතයක් බිලි ගත් නොමඟ ගිය බස් රථ
අද (22) දහවල් කොළඹ–මහනුවර ප්රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ වරාගොඩ ප්රදේශයේදී සිදු වූ බිහිසුණු රිය අනතුරකින් එක් කාන්තාවක් මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව කෑගල්ල පොලිසිය පවසනවා.
නුවරඑළිය සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මාර්ගයේ ප්රතිවිරුද්ධ මංතීරුවට ගොස්, මහනුවර දෙසට ගමන් කරමින් තිබූ වාහන 7ක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනතුරට ලක් වූ වාහන අතර රඹුක්කන ප්රදේශයේ රියදුරු පුහුණු පාසලකට අයත් වෑන් රථ දෙකක්, එම ආයතනයට අයත් ත්රීරෝද රථයක්, තවත් ත්රීරෝද රථයක්, මිනී පෙට්ටි ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සහ යතුරුපැදියක්ද ඇතුළත්.
අනතුර සිදු වූ ස්ථානයේ බස් රථය විසිතුරු මැටි භාණ්ඩ වෙළඳසැලක් අසල නතර වී ඇති බවද පොලිසිය පවසනවා.
රියදුරු පුහුණු පාසලේ වෑන් රථයක සිටි පිරිසක් ප්රදේශවාසීන්ගේ සහය ඇතිව අලවංගු භාවිත කර සිරවී සිටි පුද්ගලයන් මුදාගෙන රෝහල්ගත කර තිබෙනවා.
අනතුරින් ත්රීරෝද රථයක ගමන් කරමින් සිටි 83 හැවිරිදි මාලා විතානගේ නැමැති කාන්තාවක් මියගොස් ඇතැයිද වාර්තා වෙනවා.
තුවාල ලැබූවන් අතර රඹුක්කන, කෑගල්ල, හකිහින්න, කොට්ටපොළ, මොළගොඩ සහ මඩවල ප්රදේශවල පදිංචිකරුවන් 12 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
රියදුරු පුහුණු පරීක්ෂණයක් සඳහා ගමන් කරමින් සිටි පිරිසක්ද මෙම අනතුරට මුහුණපා ඇති බව පොලිසිය පවසනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු ක්රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
CATEGORIES දේශීය පුවත්
