
කොට්ටාව – අතුරුගිරිය අධිවේගී මාර්ගයේ ලොරි අනතුරකින් රියදුරෙකු ජීවිතක්ෂයට
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව සහ අතුරුගිරිය අතර ප්‍රදේශයේදී ඊයේ (17) අලුයම ධාවනය වෙමින් තිබූ ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් රියදුරෙකු මියගොස් ඇති බව අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ ගම්පොළ, බොන්විල් ජනපදයේ පදිංචි ඒ. ජී. අබේකෝන් නමැති 50 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයා කුකුළු තොගයක් බලපිටිය ප්‍රදේශයට ප්‍රවාහනය කර එය භාරදීමෙන් අනතුරුව නැවත ගම්පොළ බලා යමින් සිටියදී, තමන් ගමන් කළ දිශාවටම ධාවනය වෙමින් තිබූ තවත් ලොරි රථයක පසුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මියගිය රියදුරා පමණක් ලොරි රථය තුළ සිට ඇති අතර, පොලිස් නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ඔහු රථයෙන් පිටතට ගෙන හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව සඳහන්.
මියගිය රියදුරාට නින්ද යාම මෙම අනතුරට හේතුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, අනතුරෙන් ලොරි රථයේ ඉදිරිපස කොටසට දැඩි අලාභ සිදුව ඇති බව ද සඳහන් වෙනවා.
