ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අද යළි අභියාචනාධිකරණයේදී

ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම අද යළි අභියාචනාධිකරණයේදී

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම අද (18) යළි අභියාචනාධිකරණයේදී සලකා බැලීමට නියමිතයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලබන බව සඳහන්.

ඊයේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී කරුණු තහවුරු කිරීම සඳහා එය අද යළි කැඳවන බව සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, තම පෙත්සමට අදාළ වගඋත්තරකරුවන්ගෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව නීතිපතිවරයා ඊයේ අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පුද්ගලික හේතු මත මෙම නඩු කටයුත්තෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කරනවා.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරව පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට පොරොන්දුවක් ලබාදිය නොහැකි බවයි.

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )