
කොළඹ වරාය හා ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ලෝක බැංකුව සමඟ සාකච්ඡා
ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබෙනවා.
ලෝක බැංකු සමූහයේ දේශීය කළමනාකාර ගෙවෝග් සාර්ගසයාන් මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක් වූ අතර, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඊට සහභාගි වූ බව සඳහන්.
මෙහිදී ප්‍රධාන වශයෙන් කොළඹ වරාය සම්බන්ධ නව මූල්‍ය ආකෘති සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය පිළිබඳව අවධානය යොමු කෙරුණා.
කොළඹ වරායේ යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් ලෝක බැංකු සමූහය සහ ආසියානු සංවර්ධන බැංකුව විශේෂ අධ්‍යයනයක් සිදුකරමින් සිටින බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.
අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති අරමුදල් යෝජනා සහ මූල්‍ය ආකෘති රජය තවදුරටත් සලකා බලමින් සිටින අතර, ඒ සඳහා මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරයේ සහයෝගය ද අවශ්‍ය වන බවයි.
නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙනම ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇති බව ද ප්‍රකාශ කළ බව සඳහන් වෙනවා.
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ගෝලීය අවධානය කොළඹ වරාය වෙත යොමුව ඇති බැවින් ඒ පිළිබඳ ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු බව ලෝක බැංකු නියෝජිතයෝ පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම, ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා ආයතනය සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව සඳහන්.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසුවේ, කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය, ශ්‍රී ලංකන් ගුවන්සේවය සහ දේශීය ගුවන්සේවා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී වැදගත් ප්‍රතිපත්තිමය හා ආයතනික තීරණ කිහිපයක් ගැනීමට රජය සූදානම් වන අතර, එම තීරණ නිවැරදි මූල්‍ය ආකෘති, ශක්තිමත් රාජ්‍ය-පෞද්ගලික අංශ සහභාගිත්වය සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කරන බවයි.
