
සියලු දරුවන්ට නව ලෝකයේ අවස්ථා විවර කිරීම රජයේ ප්‍රමුඛ අරමුණයි – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය –
භේදයකින් තොරව සියලුම දරුවන්ට නව ලෝකයේ පවතින අවස්ථා විවර කර දීම සහ ඔවුන්ගේ සිහින කරා විශ්වාසයෙන් යුතුව ගමන් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (18) කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදු කළ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාව අතරතුර, කුරුණෑගල ශාන්ත බර්නදෙත් ආදර්ශ මහා විද්‍යාලයේ 2025 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.
එහිදී 2025 වසර තුළ විෂය සහ ශ්‍රේණි මට්ටමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් වෙත ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.
එමෙන්ම, “ආදර්ශ ප්‍රභා” නමින් පාසලේ නිල පුවත්පත ද එළි දක්වා තිබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, දරුවන්ගේ මුහුණුවල සතුට රැඳෙන, ආදරය සහ රැකවරණයෙන් පිරි පාසල් පද්ධතියක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවයි.
රට මුහුණ දෙන ආර්ථික, ගෝලීය සහ කාලගුණික අභියෝග ජය ගැනීම සඳහා සමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ඇය අවධාරණය කළා.
අධ්‍යාපනය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමේ අරමුණින් විෂයමාලා සංවර්ධනයට අමතරව මානව සම්පත් හා යටිතල පහසුකම් සංවර්ධනය ඇතුළු පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව ද අග්‍රාමාත්‍යවරිය පවසා තිබෙනවා.
එසේම, අධ්‍යාපන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඩිජිටල්කරණය, නව විෂයයන් හඳුන්වාදීම සහ ගුරු පුහුණු ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තුළින් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා උදාකර දීමට රජය අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළා.
අනතුරුව අග්‍රාමාත්‍යවරිය කුරුණෑගල ශාන්ත බර්නදෙත් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ සහ මහව රිදීබැඳිඇල්ල ගජනැග්ගම මහා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවල ද නිරත වූ අතර, එහිදී දුෂ්කරතා මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවී සිටින ගුරු මණ්ඩල වෙත සිය ප්‍රසාදය සහ කෘතඥතාව පළ කර තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය පාලන නියෝජිතයන් සහ අධ්‍යාපන බලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
