
ප්‍රශ්න පත්‍ර කාන්දුවට දොර වහලා විභාගයට පෙර ටෙලිග්‍රෑම් නිහඬ වෙලා
NEET-UG 2026 නැවත විභාගය ජුනි 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඉන්දියාව තුළ ටෙලිග්රෑම් (Telegram) යෙදුම තාවකාලිකව අවහිර කිරීමට මධ්යම රජය ගත් තීරණය දිල්ලි මහාධිකරණය අද (20) තහවුරු කර තිබෙනවා.
ඒ අනුව, ජුනි 22 වැනිදා දක්වා ඉන්දියාවේ ටෙලිග්රෑම් සේවාවට ප්රවේශ විය නොහැකි වන අතර, විභාගයට අදාළ නව ප්රශ්න පත්ර කාන්දුවක් හෝ වෙනත් අක්රමිකතා වැළැක්වීම මෙම තීරණයේ අරමුණ බව බලධාරීන් පවසනවා.
මෙම තීන්දුව ප්රකාශයට පත් කරමින් දිල්ලි මහාධිකරණ විනිසුරු තේජාස් කාරියා සඳහන් කළේ, රජය ගෙන ඇති පියවර සමානුපාතික බවත්, පවතින තත්ත්වය යටතේ අවම සීමාකාරී ක්රියාමාර්ගය එය බවයි.
ජාතික පරීක්ෂණ ඒජන්සිය (NTA) සහ අධ්යාපන අමාත්යාංශයේ උසස් අධ්යාපන දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත, ඉලෙක්ට්රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්යාංශය තොරතුරු තාක්ෂණ පනතේ 69A වගන්තිය යටතේ මෙම තාවකාලික අවහිර කිරීම ක්රියාත්මක කර තිබෙනවා.
එමෙන්ම, ජුනි 30 වැනිදා දක්වා ටෙලිග්රෑම් හි පවතින පණිවිඩ සංස්කරණය කිරීමේ (Edit Message) පහසුකම අක්රිය කිරීමට ද බලධාරීන් නියෝග කර තිබෙනවා.
රජය අධිකරණයට පෙන්වා දුන්නේ පසුගිය ප්රශ්න පත්ර කාන්දුවීම්වලදී ටෙලිග්රෑම් වේදිකාව සැලකිය යුතු භූමිකාවක් ඉටු කළ බවයි. එහි බොට් පද්ධතිය හරහා විශාල පරිමාණයෙන් අන්තර්ගතය බෙදා හැරීමට හැකිවීම සහ එක් නාලිකාවක් වසා දැමීමෙන් පසු නව නාලිකා සහ දර්පණ බොට් ඉක්මනින් මතුවීම නිසා තොරතුරු ව්යාප්තිය පාලනය කිරීම අපහසු වන බව ද රජය සඳහන් කළා.
කෙසේ වෙතත්, ටෙලිග්රෑම් සමාගම මෙම තීරණයට විරෝධය පළ කරමින්, තමන් රජයේ බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයකින් කටයුතු කළ බවත්, නීතිවිරෝධී අන්තර්ගතයන්ට එරෙහිව කඩිනමින් පියවර ගත් බවත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ටෙලිග්රෑම් ආයතනයට අනුව, ජුනි 9 වැනිදා ලැබුණු දැනුම්දීමකින් පැයකටත් අඩු කාලයක් තුළ අදාළ URL ඉවත් කර ඇති අතර, NEET විභාගයට සම්බන්ධ නීතිවිරෝධී අන්තර්ගත සහිත සබැඳි 900කට වැඩි සංඛ්යාවක් ද ඉවත් කර තිබෙනවා.
