
රටින් යන්න අවසර පතලා ඉල්ලූ ඉල්ලීමට ලේඛන මදි වීලා සජින්ගේ ගමන තවමත් නතර වෙලා
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනවලට මුහුණ දෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් නිසි දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (19) නියෝග කරනු ලැබුවා.
මෙම ඉල්ලීම අඩංගු මෝසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෞද්ගලික කටයුත්තක් සඳහා තම සේවාදායකයාට විදේශගත වීමට අවශ්‍ය බැවින් දැනට ක්‍රියාත්මක විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසයි.
ඉදිරිපත් කර තිබූ ලේඛන පරීක්ෂා කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ඉල්ලීම තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශය මහාධිකරණයට ඉදිරිපත් කළ එකක් වන බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තට අදාළව වෙනම දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අදාළ ඉල්ලීම තහවුරු කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
එහිදී නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේ, අවශ්‍ය ලේඛන සකස් කර ඉදිරි දිනයකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද නොතිසි ලබාදී මෙම ඉල්ලීම තහවුරු කිරීමට පියවර ගන්නා බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ සමයේ රුපියල් කෝටි 30කට අධික වත්කම් අයථා ලෙස උපයාගෙන ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.
