කෙහෙල් කොටේ කතා පසෙක තියා ඇඟලුම් රකිමු මුලින් සිතා සජිත් කියයි මෙහෙම කතා

කෙහෙල් කොටේ කතා පසෙක තියා ඇඟලුම් රකිමු මුලින් සිතා සජිත් කියයි මෙහෙම කතා

කෙහෙල් කොට භාවිතයෙන් ඇඳුම් නිෂ්පාදනය කිරීම පිළිබඳ නව අදහස් ක්‍රියාත්මක කිරීමට පෙර, දැනට රට තුළ පවතින ඇඟලුම් කර්මාන්තශාලා ආරක්ෂා කර ගැනීමට රජය පියවර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහනුවර දිස්ත්‍රික්කයේ පැවති සමගි ජන බලවේගයේ තරුණ සමුළුව අමතමින් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතාව 2027 වසරේ අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවට දැනට ගෙවන ණය ප්‍රමාණයට අමතරව තවත් විශාල ණය වාරික ප්‍රමාණයක් ගෙවීමට සිදුවන බවයි.

ඒ සඳහා පවතින විදේශ විනිමය සංචිත ප්‍රමාණවත් නොවන බවත්, උද්ධමනය හා ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙන බවත් ඔහු සඳහන් කරනවා.

තවද, රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ ආරම්භ කරන ලද ඇඟලුම් කර්මාන්තශාලා ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බව ද ඔහු අවධාරණය කළා.

ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන කිහිපයක් සිය ව්‍යාපාර කටයුතු විදේශ රටවලට ව්‍යාප්ත කරමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා, රටේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් කර්මාන්තය සුරක්ෂිත කළ යුතු බව සඳහන් කරනවා.

එසේම, ලෝකයේ තාක්ෂණික වෙනස්කම් සමඟ කෘත්‍රිම බුද්ධිය වැනි නව ප්‍රවණතා වේගයෙන් ව්‍යාප්ත වන බැවින්, ගෝලීය ශ්‍රම වෙළෙඳපොළට ගැළපෙන නිපුණතා සහිත තරුණ පරපුරක් බිහි කිරීමට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ද ඔහු කියා සිටියා.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට පනවා ඇති බදු ප්‍රතිපත්ති තරුණයන්ගේ අනාගතයට බාධාවක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, අධ්‍යාපනය තුළ තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා දැනුම කුඩා වියේ සිටම ලබාදීමට පියවර ගත යුතු බව ද අවධාරණය කරනවා.

තමන් ඉදිරිපත් කරන යෝජනා විවේචනය කිරීමට පෙර ඒවායේ වටිනාකම සහ සත්‍යතාව සොයා බැලිය යුතු බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, කුමන විවේචන එල්ල වුවද රටේ යහපත වෙනුවෙන් සත්‍ය කතා කිරීම නවත්වන්නේ නැති බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

 

CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )