
පිටරට යන ඩොලර් ටික රැකගන්න ගැසට් එකක් ආවා අද දැනගන්න ආනයන නීති දැඩි වෙයි බලන්න
ආනයන කටයුතුවලට අදාළ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි නව නියාමන රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ මෙම නව රෙගුලාසි පනවනු ලබනවා.
ආනයන ක්ෂේත්‍රයේ විනිවිදභාවය ඉහළ නැංවීම සහ විදේශ විනිමය පිටතට ගලායාම විධිමත් ලෙස නිරීක්ෂණය කිරීම මෙම නව ක්‍රියාමාර්ගවල ප්‍රධාන අරමුණ වෙනවා.
නව රෙගුලාසි අනුව, ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම වාණිජ බැංකු විසින් විශේෂ ගනුදෙනු අංකයක් නිකුත් කළ යුතු අතර, එම ගනුදෙනුවට අදාළ සියලු තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම්දීම අනිවාර්ය කර තිබෙනවා.
එමෙන්ම ආනයනකරුගේ බදු හඳුනාගැනීමේ අංකය (TIN), ලිපිනය, ප්‍රතිලාභියාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ඒකකය, ගෙවීම් සහ භාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය, Proforma Invoice අංකය සහ ආනයනය කරන භාණ්ඩ පිළිබඳ විස්තර ඇතුළු තොරතුරු ද බැංකු මඟින් රේගුව වෙත ලබා දිය යුතු වන බව සඳහන්.
තවද, භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ සුදුසුකම් ලත් ආනයනකරුවන් ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර, ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට අවසර නොලැබෙන බව නව රෙගුලාසිවල සඳහන් වෙනවා.
