
සෞන්දර්යය හා ක්‍රීඩාව දරුවන්ට ප්‍රාථමික අවදියේ සිටම ලබාදිය යුතුයි – අගමැතිනී හරිනි අමරසූරිය –
අනාගතයට අවශ්‍ය නායකත්වය බිහිකිරීම සඳහා සෞන්දර්යය හා ක්‍රීඩාව වැනි ක්ෂේත්‍රවලින් ලැබෙන අත්දැකීම් දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපන අවදියේ සිටම ලබාදිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරනවා.
ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අග්‍රාමාත්‍යවරිය ඊයේ (18) දින පොල්පිතිගම ජාතික පාසලේ පැවති “පුංචි හපන්නු 2026” ප්‍රාථමික සාහිත්‍ය කුසලතා ඇගයීමේ උත්සවයට එක්වෙමින්.
පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසයේ ප්‍රාථමික පාසල් 49ක සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගයීම සඳහා උත්සවය සංවිධානය කර තිබූ අතර, විවිධ තරග අංශ 17ක් හරහා ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ගේ සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම් ද අවස්ථාව වර්ණවත් කරනු ලැබුවා.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, ප්‍රාථමික අධ්‍යාපනය දරුවකුගේ ජීවිතයේ මූලික අඩිතාලම වන බැවින් එය නිවැරදිව සහ ගුණාත්මකව ලබාදීම අතිශය වැදගත් බවයි.
පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසය තුළ සිදුකර ඇති මෙම වැඩසටහන මුළු රටටම ආදර්ශයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, සැඟවුණු දක්ෂතා ඇති දරුවන්ට තම කුසලතා එළිදැක්වීමට අවස්ථාව සලසන අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම රජයේ අරමුණ බව ද සඳහන් කළා.
අනතුරුව අග්‍රාමාත්‍යවරිය පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසයේ මකුල්පොත මහා විද්‍යාලයට පැමිණ එහි ඉදිකිරීමට නියමිත නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද එක් වූණා.
රුපියල් මිලියන 45ක ආයෝජනයකින් ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2026 වසරේදී අවසන් කර 2027 ජනවාරි මාසයේදී සිසු අයිතියට පත් කිරීමට නියමිතයි.
මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ගීතා හේරත් මහත්මිය, වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන්, දෙමාපියන් සහ විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
