
රාජගිරිය රිය අනතුරු නඩුවේ පාඨලී චම්පිකගේ මූලික විරෝධතා ජූලි 7 දා විභාගයට
2016 වසරේ රාජගිරිය ප්රදේශයේදී සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුරක් සහ එහි සාක්ෂි වසන් කිරීමට උත්සාහ කළ බවට හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති අපරාධ නඩුව ඊයේ (18) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
නඩුවේදී මතු කර ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් වාචික දේශන පැවැත්වීමට නියමිතව තිබූ අතර, එම කරුණු ඉදිරිපත් කළ යුතු පාර්ශ්වයන්ගේ අනුපිළිවෙල සම්බන්ධයෙන් විත්ති සහ පැමිණිලි පාර්ශ්ව අතර නීතිමය තර්ක විතර්ක ඇති වී තිබෙනවා.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ, තමන් කරුණු දැක්වීමට පෙර පැමිණිලි පාර්ශ්වය වන නීතිපතිවරයා දේශන ඉදිරිපත් කළ යුතු බවයි.
එහෙත්, පැමිණිලි පාර්ශ්වය නියෝජනය කළ නියෝජ්ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ, සාමාන්ය අධිකරණ ක්රියා පටිපාටිය අනුව මූලික විරෝධතාවක් ඉදිරිපත් කරන පාර්ශ්වයම ප්රථමයෙන් ඒ සඳහා කරුණු දැක්විය යුතු බවයි.
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ වාචික දේශන පැවැත්වීම සඳහා ලබන ජූලි මස 07 වැනිදා දිනය නියම කරනු ලැබුවා.
2016 පෙබරවාරි 28 වැනිදා රාජගිරිය ජනාධිපති විදුහල අසලදී සන්දීප් සම්පත් ගුණවර්ධන නමැති තරුණයා පැදවූ යතුරුපැදියක WP KT-7545 දරන සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටී බරපතළ තුවාල සිදු කිරීම සහ අනතුරෙන් පසු වාහනය නොනවත්වා ධාවනය කිරීම ඇතුළු චෝදනා මත මෙම නඩුව පවරා තිබෙනවා.
හිටපු අමාත්යවරයාට එරෙහිව ප්රධාන චෝදනා තුනක් ගොනු කර ඇති අතර, බරපතළ රිය අනතුරක් සිදු කිරීම, පොලිසියට වාර්තා නොකිරීම, තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර නොගැනීම සහ මෝටර් රථ ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ.
