පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ සේවය තහනම් කිරීම අභියෝගයට ලක් කළ පෙත්සම ජූලි 20 දා කැඳවයි

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ සේවය තහනම් කිරීම අභියෝගයට ලක් කළ පෙත්සම ජූලි 20 දා කැඳවයි

තමන්ගේ සේවය තහනම් කිරීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ නියෝජ්ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා කතානායකවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 20 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (19) නියෝග කළා.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට තමන් සූදානම් බවයි.
එහිදී වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති කතානායකවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා, මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කරන බව අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම, වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අමාත්යවරුන් වන බිමල් රත්නායක සහ අනිල් ජයන්ත යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් සහ තවත් වගඋත්තරකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාමර නානායක්කාරවසම් මෙම නඩුකරය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව ප්රකාශ කළා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජූලි මස 20 වැනිදා යළි කැඳවීමට නියම කළේය.
කිසිදු සාධාරණ විමර්ශනයක් නොපවත්වා තම සේවය තහනම් කිරීමට කතානායකවරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙන්වා දෙන නීතිඥ චමින්ද කුලරත්න, එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
CATEGORIES
Share This

COMMENTS

Wordpress (0)
Disqus ( )